බරක් ඔබාමා යනු ඇමරිකානු ජනාධිපති පදවියට පත් පළමු අප්‍රිකානු – ඇමරිකානු ජාතිකයා විය.

වසර 1961 අගෝස්තු මස හවායිහිදී උපත ලද බරක් හුසේන් ඔබාමා කොලොම්බියා සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු දේශපාලනයට පිවිස 2008 වසරේදී ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් විණි.
2009 වසරේ ජනවාරි 20 වෙනිදා ඇමරිකාවේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස බරක් ඔබාමා ප්‍රථම වරට ධූරයේ දිවුරුම් දෙද්දී ඇමරිකානු ජනතාව තුළ දැල්වුණු නව බලාපොරොත්තුව වූයේ මින් ඉදිරයට ‘සුදු ඇමරිකාවක්’ හෝ ‘කළු ඇමරිකාවක්’ නොව සැමට උරුමවූ එක්සත් ඇමරිකාවක් ඇතිවනු දැකීමය.
ඔබාමා සම්බන්ධයෙන් ඔබ වැඩිපුර කියවා නැති කාරණා දහයක් රැගෙන එන්නට අප සිතුවේ එනිසා ය.
1.බැරක්, “ඔ’බෝම්බර්” වී “බාර්” වූ හැටි
කෙන්යා ජාතික පියෙකුට සහ අමෙරිකා ජාතික මවකට දාව උපත ලද ඔබාමාගේ සම්පූර්ණ නම, බැරක් හුසේන් ඔබාමා කනිෂ්ඨ යන්න ය. කෙන්යාවේ භාවිතයට ගැනෙන ස්වාහිලි බස අනුව “බැරක්” යන පදයෙන් ලැබෙන්නේ “ආශිර්වාද ලත්” යන අරුත ය. එතරම් අරුත් බර නමක් තිබුණත්, විවිධ අවස්ථාවලදී ඔබාමාට විවිධ නම් පටබැඳී තිබුණු බව ඔබ දන්නවාද?
උසස් පාසලේ අධ්‍යාපනය ලබන අවධියේදී ඔබාමා දක්ෂ පැසිපන්දු ක්‍රීඩකෙයකි. පැසිපන්දු ක්‍රීඩාව කෙරෙහි දැක්වූ ඒ දක්ෂතාව නිසා ම, ඔහු එකල හැඳින්වුණේ “ඔ’බෝම්බර්” යන නමිනි. විශ්වවිද්‍යාල කොලීජියේදී ඔහු කා අතරත් ජනප්‍රිය වුණේ “බැරී” යන නමින් මිස, බැරක් යන නමින් නොවේ. මවු පාර්ශ්වයේ ආච්චිත්, සීයාත් ජීවත්ව සිටි සමයේදී, ඔබාමා ඇමතුවේ “බාර්” යන සුරතල් නමිනි. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා බවට පත් වූ පසු, එරට රහස් ඔත්තු සේවා බැරක් ඔබාමා හඳුන්වා දෙන්නට භාවිතයට ගත්තේ “රෙනෙගාඩේ” යන සංකේතය ය.
2. භාෂා කිහිපයක් කතා කළ හැකි ජනපතිවරයෙක් !
බැරක් ඔබාමාට වයස අවුරුදු දෙක පමණ වනවිට ඔහුගේ මවුපියෝ දික්කසාද වූහ. එයින් පසුව ඔබාමාගේ මව ඉන්දුනීසියා ජාතිකයකු සමඟ විවාහ විය. මවගේ ඒ විවාහයත් සමඟ, ඔබාමා වසර හතරකට නොඅඩු කාලයක් ජීවත් වුණේ ඉන්දුනීසියාවේ බව සඳහන් වේ. මේ නිසා බැරක් ඔබාමා ඉන්දුනීසියා බස හැසිරවීමට උගත්තේ ය. ඒ හැරුණු විට ස්පාඤ්ඤ බස හැසිර වීමත් ඔහුට නුහුරු නොවේ. ඉංග්‍රීසි බස හැරුණු කළ තවත් භාෂා කිහිපයක් කතාකළ හැකි කිසිවකු ඔබාමාට පළමුව අමෙරිකා ජනාධිපති පුටුවේ හිඳ ගත්තේ නම්, ඒ ෆ්රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් පමණි. රූස්වෙල්ට් ජනාධිපතිවරයා ජර්මන් සහ ප්‍රංශ භාෂා කතා කළ බව දැක්වේ.
ඉන්දුනීසියාවේ ජීවත්වුණු අවධියේදී එරට භාෂාවට වගේම, එරට කෑම බීම රටාවටත් ඔබාමා අනුගතව සිටියේ ය. සුනඛ මස්, නයි මස් යොදා සකසන ලද ආහාර ද, බදින ලද තණකොළ පෙත්තන් ද අනුභව කිරීම මේ නිසා ඔහුට ආගන්තුක දෙයක් වූයේ නැත.
3. පෙනුමෙන් නොකියැවෙන ඔහුගේ ඇතුළාන්තය
ඔබාමාගේ පෙනුමට වඩා ඔහු බෙහෙවින්ම ශක්තිමත් පුද්ගලයකු බව කිවයුතුම දෙයකි. එමෙන් ම ඔහු ක්‍රීඩාශීලී පුද්ගලයෙක් ද වේ. අඩි 6කුත්, අඟලක් පමණ උසැති ඔබාමා වඩාත්ම ප්‍රිය කළේ පැසි පන්දු ක්‍රීඩාවේ යෙදීමට ය. ඔහු පැසිපන්දු ක්‍රීඩා කරන්නට පටන් ගත්තේ ඉතා කුඩා අවධියෙනි. පාසල් කාලය පුරාත්, උසස් අධ්‍යාපනය ලබන අවධියේදීත් හෙතෙම ඉතා දක්ෂ පැසි පන්දු ක්‍රීඩකයකු බව වාර්තාවල දැක්වේ. පැසිපන්දු හැරුණු විට ගොල්ෆ් ආදී ක්‍රීඩාවල යෙදෙන්නටත් ඔබාමා බෙහෙවින් ම කැමැති ය.
ක්‍රීඩාව කෙරෙහි ඔහු කෙතරම් ලැදිදැයි කියා කිවහොත්, ජනාධිපති ධුරයට පළමු වරට තරගවදින සමයේදී පවා හෙතෙම ක්‍රීඩාවෙන් ලබන සංතෝෂය අතහැරියේ නැත. ඒ වනවිට ක්‍රීඩා කිරීමට ඔහුට විවේකයක් නොතිබුණාට සැකයක් නොවේ. ක්‍රීඩා සඳහාම වෙන්කර ඇති රූපවාහිනී නාලිකා පමණක් එකල ඔහු නැරැඹු බව කියැවේ. එදා සී.එන්.එන්. නාලිකාවේ ප්‍රවෘත්ති නරඹන්නටවත් ඔහු තුළ කැමැත්තක් තිබී නැත.
ඔබාමාගේ ක්‍රීඩා සිහිවටන අතර, ලෝක බොක්සිං ශූර මොහොමඩ් අලීගෙන් ඔහුට ලැබුණු බොක්සිං අත් ආවරණ යුගලයක් ද ඇත.
4.ආහාර පාන භාවිතයේ ඔබාමාකරණය
ඔබාමා හැම විටෙකම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන නායකයෙකි. කලක් දුම්පානයට ඇබ්බැහි වී සිටිය ද, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වටිනාකම දැනගත් කළ හෙතෙම එය අත්හැර දැමුවේ ය.
ඔබාමා දිනකට අඩු තරමින් ඇපල් ගෙඩියක්වත් කා දමන බව වාර්තා වේ. එහෙත්, ඔහු කෝපි බොන්නට කොහෙත්ම කැමැති නැත. එමෙන් ම, මධ්‍යසාර පානයට ඔහු නැඹුරු වන්නේ ඉතාමත් ම කලාතුරකිනි. එහෙත්, නව යෞවන අවධියේදී ඔබාමා, මධ්‍යසාර පමණක් නොව, කොකේන් සහ මරිජුවානා පවා භාවිතයට ගත් බව දැක්වේ.
5. ඔහු පළමුවැනියා ම විය
බැරක් ඔබාමා, අමෙරිකා ඉතිහාසයේ ජනාධිපති ධුරයට පත් අප්‍රිකා – අමෙරිකා සම්භවයක් සහිත ප්‍රථම ජනාධිපතිවරයා ය. අමෙරිකා මහාද්වීපයෙන් බැහැර ස්ථානයක උපත ලද අයකු, අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ නම්, ඒ ද බැරක් ඔබාම මිස අනෙකකු නොවේ.
සමාජ වෙබ් අඩවි භාවිතයට ගත් අමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා හැටියට ඉතිහාසගත වන්නේත් බැරක් ඔබාමා ය. @BarackObama යනුවෙන් ඇති ඔහුගේ ට්විටර් ගිණුමෙහි අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 41කට අධික බව ඇසුවහොත්, සමහරවිට ඔබ පුදුම වනු ඇත.
අමෙරිකාවේ ජනාධිපතිවරයකු සමලිංගික විවාහ අනුමත කළේ නම්, ඒ ජනාධිපතිවරයා ද බරක් ඔබාමා මිස අනෙකකු නොවේ. ඉලිනොයිස් හි සෙනෙට් සභාවට තරගවදින අවස්ථාවේදීත්, හෙතෙම සමලිංගික විවාහවලට සහය පළ කරමින් කතා කළේ ය.
6. හොඳ ම මිතුරිය හමුවීම
බැරක් ඔබාමාට මිෂෙල් හමුවන්නේ චිකාගෝ හි ස්ථාපිත සිඩ්ලේ ඔස්ටින්ස් නීතිඥ සමාගමේ, ඔහු සේවය කරමින් සිටියදී ය. හමුව සිදුවන්නේ 1989 වසරේ ජුනි මාසයේදී බව දැක්වේ. එලෙස පෙම්වතුන් බවට පත් වූ ඔවුන්ට, විවාහ ගිවිසගන්නට ඉඩ ලැබෙන්නේ 1991 වසරේදී ය. 1992 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔවුහු විවාහ වූහ.
ඔබාමා – මිෂෙල් පෙම්වතුන් යුවළ පළමුවෙන්ම නැරැඹුවේ “ඩූ ද රයිට් තින්ග්” නමැති චිත්‍රපටය බව දැක්වේ. මේ චිත්‍රපටයේ නම ලෙස ම, හරි දේ කරන බිරියක් ඔබාමාට ලැබී තිබිණ. ධුරයෙන් නික්ම යමින් අවසන් වරට කරන ලද කතාවේදී, බැරක් ඔබාමා සිය ආදරණීය බිරිය හඳුන්වා දුන්නේ, පසුගිය වසර විසි පහ තුළ තමන් හා සිටි හොඳ ම මිතුරිය ඇය හැටියට ය. ගෙවුණු කාලය පුරා ඉතාමත් ලෙංගතු සහ ආදරණීය සම්බන්ධයක් ඔවුන් දෙදෙනා අතර තිබුණු බව, ඔහුගේ ඒ කතාවෙන් තහවුරු විණ.
ලෝකය හෙල්ලූ යුවළක් බවට පත් වුවත්, මේ දෙදෙනාගේ ආරම්භය කෙතරම් සරල සහ චාම් එකක් වී ද යන්න මිෂෙල් වරක් කළ මේ ප්‍රකාශයෙන් තහවුරු වේ.
“… මගේ මහත්තයාට පළමුවෙන්ම තිබුණ කාර් එකේ දොරේ විශාල වශයෙන් මළකඩ කෑ සිදුරක් තිබුණා. ..”
මිෂෙල් සමඟ විවාහ වනවිටත් ඔබාමා නීතිඥයෙකි. එහෙව් කල ලස්සන මෝටර් රථයක් පාවිච්චි කරන්නට ඔහුට බැරිකමක් නොතිබුණාට සැකයක් නැත.
7. රැකියා රැසක් කළ තරුණයෙක්
බැරක් ඔබාමා ජීවිතයේ තරුණ අවධියේදී සිය ස්ථාවරය සකසා ගත්තේ රැකියා රැසක නියැළීමෙනි. වරක් හෙතෙම සේවය කළේ බාස්කින් – රොබින්ස් නමැති අයිස්ක්‍රීම් නිෂ්පාදන සමාගමෙහි ය. මේ රැකියාව නිසා ම අයිස් ක්‍රීම් කෙරෙහි විශේෂ ආශාවක් ඔහු තුළ අති වුණු බව “ද ටෙලිග්රාෆ්” පුවත්පත ඔබාම ගැන වාර්තාවක් පළ කරමින් වරක් ප්‍රකාශ කර තිබිණ.
හාවර්ඩ් නීති විද්‍යාලයෙන් 1988 වසරේදී නීති උපාධිය ලැබ, නීතිඥයකු ලෙස ඔබාමා සමාජයට පැමිණෙන්නේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇතිව ය. නීතිඥයකු ලෙස කටයුතු කරන්නට පළමුව, හෙතෙම ගුරුවරයකු හැටියටත් සේවය කළ බව දැක්වේ. ඒ වගේම අලෙවිකරුවකු ලෙසත්, ප්‍රජා සංවිධායකයකු ලෙසත් ඔහු ක්‍රියා කර ඇත.
කිසියම් විධියකින් දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වන්නට එදා ඔහුට අවස්ථාවක් නොලැබුණේ නම්, ඔබාමාට ගෘහ නිර්මාණ ශිල්පියකු වීමට ඉඩ තිබුණු බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
8. පොත පතට ලැදි නායකයෙක්
බැරක් ඔබමා ඉතාමත් තරුණ අවධියේ සිටම පොත පතට ඇබ්බැහි වුණු කෙනෙකි. එනිසා හෙතෙම පොත් පත් කියැවීමෙන් කවදාටත් සතුටක් ලැබූ කෙනෙකු බව රහසක් නොවේ. ඇතැම් වාර්තාවන් හි දැක්වෙන අන්දමට හැරී පොටර් පොත් මාලාවේ සෑම පොතක්ම ඔහු කියවා ඇත. ඒ හැරුණු විට බැරක් ඔබාමා කෘති දෙකක් සම්පාදනය කර තිබේ. එකී කෘති දෙක වන්නේ “Dreams from My Father” සහ “Audacity of Hope”ය . මේ කෘති දෙකම ශ්‍රව්‍ය කෘති ගණයෙහිලා සැලකෙන ඒවා බව දැක්වේ. විශේෂත්වය වන්නේ, එම කෘති දෙකටම ග්‍රැමී සම්මාන හිමිව තිබීම ය.
9. සතුන්ට ආදරය කරන මිනිසෙක්
බැරක් ඔබාමා ළමා කල සිට ම සතුන්ට ආදරය කළේ ය. කුඩා කළ ඉන්දුනීසියාවේ වෙසෙන අවධියේදී හෙතෙම සුරතලයට ඇති කළේ වඳුරෙකි. මේ සුරතල් වඳුරාට තබා තිබුණේ ටාටා යන නමයි.
සතුන්ට ආදරය කරන පුරුද්ද ධවල මන්දිරයට පැමිණි බැරක් ඔබාමාගෙනුත් ඈත් වී නොතිබිණ. ඔහු සුරතල් සුනඛයන් දෙදෙනකු ම එහි ඇති දැඩි කළේ ය. එක් සුනඛයකු “බෝ” නමිනුත්, අනෙකා “සනී” නමිනුත් හැඳින්වේ.
10. මවුපිය සෙනෙහස අහිමි කෙනෙක්
බැරක් ඔබාමා තරම් ලෝකයාගේ අවධානයට ලක් වුණු ජනාධිපතිවරයකු අමෙරිකාවේ තබා, ලොව වෙනත් රටකවත් නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලෝකයාගේ අවධානයට පත් මේ නායකයාගේ පෞරුෂය ගොඩනැඟි තිබෙන්නේ මවුපිය සෙනෙහස නැති වාතාවරණයක් තුළ බව ඔබ දන්නවාද? එය කෙතරම් හද කම්පා කරවන තත්ත්වයක්දැයි කියා කිවහොත්, ඇතැම් තැනක ඔබාමා හැඳින්වෙන්නේ “අනාථයකු” හැටියට ය.
එවැනි දුක්බර ඉරණමක් ඔහුට අත්වීම සිදුවූයේ, ඔබාමාට වයස අවුරුදු දෙකක් වන විට, ඔහු සිය මව හැර යාමත් සමඟ ය. එලෙස වෙන්ව යනතුරුත් ඔබාමාගේ පියා, ඔබාමා සහ මව සමඟ එකට එක්ව පවුල් ජීවිතයක් ගත කළේ නැත. කෙටියෙන් පැවසුවහොත්, ඔබාමාගේ මව ඔබාමා හදා වඩා ගනිමින් ගත කළේ හුදෙකලා ජීවිතයකි. ඒ ජීවිතයට ඇයට යම් පමණක අස්වැසිල්ලක් ලැබුණේ , සිය මවගෙන් සහ පියාගෙන් ලැබුණු උපකාර නිසා ය. මේ නිසා, ඔබාමා ඉතා ඉක්මනින්ම මවු පාර්ශ්වයේ ආච්චි සහ සීයා ඇසුරට හුරු වූ බව දැක්වේ.
ඔබාමාගේ මව 1965 වසරේදී දෙවැනි විවාහයක් කරගෙන, ඉන්දුනීසියාවේ පදිංචියට යාමෙන් දෙවසරකට පසු ඔබාමටත් මව හා එක්වන්නට ඉඩ ලැබිණ. එතැන් පටන් වසර හතරකට ආසන්න කාලයක් ඔහු ඉන්දුනීසියාවේ ජීවත් විය. 1971 වසරේදී යළිත් ඔහු අමෙරිකාවට පැමිණ, මවගේ මව සහ පියා හා වාසය ඇරැඹුවේ ය. එවක් පටන් ඔහුගේ ලෝකය ගොඩනැඟුණේ ඒ පරිසරය තුළ මිස, මව සමඟ නොවේ.
ඔබාමාට නැවත වරක් පියා දකින්නට ලැබෙන්නේ 1971 වසරේදී පුතා මෙන් ම පියාත් අමෙරිකා එක්සත් ජනපදයට පැමිණීම නිසා ය. එවරද ඔහුට පියාගේ සෙවනේ රැඳෙන්නට ඉඩ ලැබුණේ ඉතා කෙටි කාලයක් පමණි. ඉන්මතු කිසි කලෙක ඔබාමාට පියාගේ සෙනෙහස විඳින්නට අවස්ථාවක් ලැබුණේ නැත.
ඔබාමාගේ පියා 1982දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
[අන්තර්ජාලය ඇසුරෙනි]
コメント