top of page
  • Writer's pictureLakshan Gunawardhana

මේ වෙලාවෙ අපිට වැදගත්ම දේ මොකක්ද ?

Updated: Jan 22, 2022

දිගු කලක් අපි ඔබට කතාකල මාතෘකාවක් තමයි සාර්ථකත්වය. ඒ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලත් කතා කලා.


පුද්ගල සාර්ථකත්වයට වැදගත් දේවල් 3 ක් අපි එදා කතා කලා ඔබට මතක ඇති. ඒවා නම්......

# දැනුම ( Knowledge)

# හැකියාව ( Skill)

# ආකල්ප ( Attitudes)

අපි දන්නවා, මේ මාසෙට ඔබේ විෂයානුබද්ධ දැනුම නැතිවෙලා නෑ කියලා. ( එහෙම උනත් handout එකක්, පොතක් එක පාරක් බලාගත්තම ඒක හරි)

හැකියාව අඩු වෙලාද ? මං හිතන්නෙ නං නෑ. ඒක නැතිවෙන්න තරං කාලයක් ඔබ නිකං හිටියෙ නෑ.

එතකොට ආකල්ප ?

ආන්න ඒකට නං පොඩි බලපෑමක් වෙලා. ඒක ඔබට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. අද වෙනකොට ලෝකෙ රටවල් 200 ක විතර මිනිස්සු පොඩි ගානකට නෙමෙයි, මිලියන ගානකටත් නෙමෙයි, මිනිස්සු බිලියනයකට වඩා මේ තත්වයට මුහුණ දීලා ඉන්නවා. එයාලත් ගෙවල් වලට හිරවෙලා. වෙනද ගෙවපු ජීවිතය ගෙවාගන්න බෑ. Film හෝල් වහලා. Restaurants වහලා. Bar වහලා. Saloon වහලා. හැම දෙයක්ම වහලා.

බලන්න ඔබ දිහා. වෙනදට උදේම නැගිටලා නාලා පිරිසිදු වෙලා, ( පිරිමි අය බහුතරයක් රැවුල බාලා) කාන්තාවක් නං make up කරලා එළියට ගිය ඔබද දැං කණ්නාඩියක් ඉස්සරහට ගියාම ඉන්නෙ. නෑ නේද ?

පිරිමින් බහුතරයක් රැවුල් වවාගෙන මූන පුරා. ( මේ රැවුල වවපු අය නෙමේ. රස්සාවට යන්නෙ නැති නිසා, එළියට පහලියට බහින්නෙ නැති නිසා රැවුල වැවෙන්න දීලා හිටපු අය.) ඔබට ඔබගේ ප්‍රතිබිම්බය කණ්නාඩිය තුලින් බැලුවම එන්නෙ positive හැඟීමක්ද ? නෑ නේද ?

කාන්තාවොත් එහෙමයි. ( ඒකෙන් කියන්නෙ නෑ ගෙදරටත් make up කරං ඉන්න කියලා )හැබැයි, ඔබට ලස්සනට ඉන්න පුලුවන්, ප්‍රිය මනාපව ඉන්න පුලුවන්. ඔ⁣බේ ලස්සන දකින්න ඕන අය ගෙදරත් ඉන්නවා. එයාලට කැත එක්කෙනෙකුයි, ලෝකයට ලස්සන එක්කෙනෙකකුයි පෙන්වන්න එපා.

කාලා නිදියෙනවද ? ව්‍යායාම කරන ස්ථාන ( Gym) වහලද ? ඇවිදින්න එලියට යන්න බැරිද ? එහෙමනං ගේ වටේ ඇවිදින්න. ඔබේ phone එකෙන් exercise app එකක් බාගෙන එකෙ කියන ව්‍යායාම ටික කරන්න. ප්‍රබොධයක් දැනේවි. Negative ආකල්ප පලවා හැරෙනවා ව්‍යායාම කරනවිට ශරීරය නිපදවන හෝමෝන වලින්. පැය බාගයක් විතර ව්‍යායාම කරනවිට ඔබේ ශරීරය Happy hormone නිකුත් කරනවා. ( endorphins, dopamine, serotonin ) ගෙදරට හිරවෙලා අසතුටෙන් ඉන්න ඔබ සතුටට පත් කරන්න ඔබටම පුලුවන්.

සංගීතයට සවන් දෙන්න. TV බලන එක ( විශේෂයෙන් ප්‍රවෘත්ති ) බලන එක අඩු කරන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) නිවේදනයක් නිකුත් කලා. දවසකට එක ප්‍රවෘත්ති විකාශය ක් විතරක් බලන්න.

හිත නිවන සංගීතය ඇසුරු කරන්න. ගෙදර තියෙනව නං අමරදේව, නන්දා, වික්ටර්, සනත් නන්දසිරි, අමරසිරි පීරිස් වගෙ අයගෙ CD දාලා අහන්න. (මම නං SLBC එකේ වෙළඳ සේවයත් අහනවා) තව You Tube එකෙනුත් සිංදු හොයාගන්න පුලුවන්.

වෙලාව තියෙනව නං film එකක් බලන්න. ඔබව දිරි ගන්වන්න පුලුවන් හොද films අන්තර්ජාලයෙන් බාගත කරන්න පුලුවන්. හොද ඒවා ටිකක් ලියන්නං.

# Saving Private Rayn

# Invictus

# The Pursuit of happiness

# Forrest gump

# The Shawshank Redemption

# Good will hunting

# Remember the Titans

# The Blind Side

# Dead poets society

# Men of Honor.....තව ඕන නං මට කතා කරන්න. මැසේජ් කරන්න. අන්තර්ජාලය තුලින් film එකක download කරන්න අමාරුනං අපට කතා කරන්න.


පොතක් කියවන්න. ( දැං කියන්න එපා බුක්ෂොප් වහලා කියලා. ඒක මම දන්නවා.) ගෙදර තියෙන පොතක් කියවන්න.කියවපු එකක්ම නැවත කියවන්න. ඔ⁣බව දිරිගන්නවන පොතක් කියවන්න. ඒක ධනාත්මක චින්තනය ගැන ලියවුනු එකක්ද, නවකතාවක්ද කමක් නෑ. කියවන්න. මම සමහර පොත් දහ පාරකට වඩා කියවලා තියෙනවා. මේ වගෙ පොතක් කියවන්න තියෙනවනං අගෙයි.

# සැබෑ මිනිසෙකුගේ කතාව

# වානේ පන්නරය ලැබූ හැටි

# ගුරු ගීතය

# වෘකයන් අතර නග්නව

# ජීවිතයේ ප්‍රබෝධය - මරණයේ අසිරිය

# පෙරලූ නැවුම් පස

# මගේ දිවිසැරිය - චාලි චැප්ලින්

# චීන පවුරින් එතෙරට වගෙ පොත්. චරිත කතා හොදයි. අමාරුවෙන් ජීවිතය උඩට තල්ලු කරගත්තු අය ඔබව දිරි ගන්වාවි. සමහර මිනිස්සුන්ගෙ මුලු චරිතයම කියවන්නෙ නැතුවත් අපට ධෛරයක් ලැබෙන අවස්ථා තියෙනවානෙ.

මේ ඒ වගෙ කීපයක්.....

# ඇල්බට් අයින්ස්ටයින්

අපි දන්නෙ විසිවන සියවසේ බිහිවූ විශිෂ්ටතම විද්‍යාඥයෙකු හැටියට. නමුත්, ඔබ දන්නවද ඔහුට වයස අවුරුදු 4 ක් වන තුරු එකම වචනයක් වත් කතාකරන්න බැරිව සිටි වග. අවුරුදු නමයෙදිත් හොදින් කතාකරන්න බැරිව සිටිවග. තව නොදන්නා කාරනාවක් කියන්නං. ඔහුගේ පලමු රැකියාව රක්ෂණ නියෝජිතයෙකු බව..

# බිල් ගේට්ස්

අපි දන්නෙ ලෝකයේ ධනවත්ම මිනිසා හැටියට. ඔහුව ඒ තත්වයට ගෙනාවෙ Microsoft කියන ලෝකප්‍රකට සමාගම. ඔබ අහල තියෙනවද මේ නම, Traf-O-Data කියන එක. නෑනේද ? එක තමයි ගේට්ස් ඉස්සල්ලාම හදපු සමාගම. එය අසාර්ථක උනා. වහල දැම්මා. නමුත්, සාර්ථක මිනිස්සු කියන්නෙ අසාර්ථකත්වය තුලින් මතුවන මිනිස්සුන්ට.

# Colonel සෑන්ඩර්ස් ව ඔයගොල්ලන් දන්නවා. ඒ සුප්‍රසිද්ධ KFC කියන අකුරු තුන නිසා. අපි ඔබට සෑන්ඩර්ස් ගැන ඉගැන්නුවෙ ප්‍රමාද වෙලා පටන් ගත් කෙනෙක් විදියට. ඔහු KFC පටන් ගන්නකොට අවුරුදු හැටකට කිට්ටුයි. හැබැයි, අද කතාව ඒක නෙමේ. මේ කෑම වට්ටෝරුව අරං සෑන්ඩර්ස් මහත්තයා ආයතන 1006 කට ගිහිල්ලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරාට පස්සෙ තමයි ඒක ඔහුම ආරම්භ කරන්නෙ.

මෙන්න මේවගෙ චරිත ගැන හොයන්න. මං දැකලා තියෙනවා Laughs ( ලාෆ්ස්) සමාගමේ හිමිකරු ( හේමචන්ද්‍ර වෑගපිටිය) interview 250 කින් අසමත්වූ වග. ඒ නිසා මාස දෙක තුනක් එලියට බහින්නෙ නැතුව හිටියට අපිව නවත්වන්න කාටවත් බෑ. සමහරවිට වෙනදට වඩා හොද ලෝකයක් අපි ඉස්සරහ තියෙයි. හැබැයි ඒ දවස එද්දි අපට ජය ගන්න පුලුවන් වෙන්නෙ අපේ මානසිකත්වය ( ආකල්ප) හොදට තියා ගත්තොත් විතරයි.

ඉංග්‍රීසි කියමනක් තියෙනවා මෙහෙම...

" Knowledge & Skill aren't enough, your Attitude make the Difference" කියලා. ඒ කියන්නෙ අපිට මොතරම් දැණුමක් හා හැකියාවක් තිබුනත් අපව සාර්ථක කරන්නෙ ආකල්ප.

අපි ගොඩක් අය ඉස්කෝලෙ යද්දි ඉගෙන ගත්තා මෙහෙම එකකුත්...

"චෛතසිකයෝ සිත හෙවත් විඤ්ඤානය පෙරටු කොටැඇත්තාහ. සිත උතුම් කොටැත්තාහ. සිතින්ම උපදනාහ. ඉදින් අලෝභාදී ගුණයෙන් හා යෙදීමෙන් පැහැදුණු සිතින් යම් කිසි මනා තෙපුලක් කියයි ද, සුචරිතයක් කරයිද ( ⁣හොඳ සිතිවිල්ලක්) සිතයිද, ඒ හේතු කොටගෙන කය අත් හැර නොහැර ගමන් කරන සෙවනැල්ල මෙන් ඒ කුශල කර්ම⁣යෙහි විපාකය වූ සැපය ඔහු අත් නොහැර ලුහුබඳියි."

ඒ ඔබ කියෙව්වෙ ධම්ම පදයෙ දෙවැනි ගාථාව.


ඉදින්, වෙනත් ඕනෑම පුද්ගලයකු හා සමානව ඔබද මේ අවිනිශ්චිත වාතාවරණය තුල ගිලී ඇති. හැබැයි ඒ මඩගොඩ තුල රැදෙනවාද, නැත්නම් එයින් එළියට විත් පිපෙනවාද යන තීරණය ඔබ අතයි.


ජය !


රුක්මල් ගමගේ

කළමනාකරු - පුහුණු හා සංවර්ධන

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්

7 views
bottom of page