top of page
Search

අනාරාධිත අමුත්තා

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Mar 18, 2022
  • 2 min read

සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයකට සහභාගි වනුයේ ආරාධිතයින් පමණි. අනාරාධිත අමුත්තෙකු සහභාගි වූයේ නම් ඒ එහෙමත් වෙලාවකය​. එසේ සහභාගි වන්නේද අන්පේක්‍ෂිතව පැමිණෙන පවුලේම සාමාජිකයෙකු හෝ යම්කිසි විදිහකින් දන්නා හඳුනන අයෙකි. නමුත් පසු ගිය දිනෙක බ්‍රසීලයේ පැවති විවාහ මංගල උත්සවයකට අනාරාධිත, අනපේක්‍ෂිත අමුත්තෙක්‍ කඩා වැදුනි. ලොව පුරා ආදරයට පාත්‍ර වූ ඒ කතාවයි මේ. බ්‍රසීලියානු යුවලක් වූ මරිලියා සහ මාතෙස්ගේ එළිමහන් විවාහ මංගල්‍යය අතරතුරදී බලාපොරොත්තු නොවූ ධාරානිපාත වර්‍ෂාවක් කඩා වැටුනු හේතුවෙන්, උත්සවය අසල වූ උත්සව ශාලාව තුළට ගෙන යාමට සිදුවිය. මේ අල්ල පනල්ලේ වැස්සෙන් බේරීමට දුවගෙන ආ වීදි බල්ලෙකුද උත්සවයට රිංගා ගත්තේය. අමුත්තන් මෙන්ම මංගල්‍යය කටයුතු භාරව සිටි පිරිසද කකුල්වල මඩ ගාගත් බල්ලා ආපසු පිටතට යැවීමට උත්සාහ කලද, බල්ලා එයට කැමති වූ බවක් පෙනුනේ නැත. සමහරවිට බල්ලාද විවාහ මංගල්‍යයට සහභාගි වන්නට සිතුවා වියහැක. කෙසේ හෝ වේවා බල්ලාගෙන් කරදරයක් නොවන බව පෙනුන බැවින්, සියලු දෙනා බල්ලා ගැන අමතක කොට උත්සවය දිගටම පවත්වාගෙන යන්නට තීරණය කලහ​. යුවල දිවුරුම් හුවමාරු කර ගන්නා වේලාව එලඹුනි. ඒ වන විට කාටත් බල්ලා ගැනද අමතක වී තිබුණි. සියලු දෙනාගේ අවධානය නව යුවල වෙත යොමුවී තිබූ ඒ වෙලාව අතරතුර සිදුවූයේ ඇදහිය නොහැකි දෙයකි. මාරිලියාගේ ලස්සන වේලය මත අයාලේ යමින් සිට, වැස්සෙන් බේරීමට දිව ආ වීදි බල්ලා තද නින්දේය​.

ree

එය දුටු මරිලියා සහ මාතෙස් මහ හඬින් සිනාසෙන්නට පටන් ගත් හ​​. අලුත විවාහ වූ යුවළගේ සිනාවට අමුත්තෝද එකතු වූහ​. " බල්ලා මගේ වේලය උඩ නිදාගෙන ඉන්නවා දැක්කම මට දැනුනේ සතුටක්! සමහරවිට මම සතුන්ට ආදරය කරන නිසා වෙන්න ඇති!" මනාලිය පසුව කීවාය​. ඡායාරූප ශිල්පියා යුවළ බල්ලාට ප්‍රතිචාර දක්වන විශිෂ්ට ඡායාරූප කිහිපයක් කැමරාවට ගෙන තිබුණු අතර, යුවළගේ ආදර්ශය හදවත උණුසුම් කරවන කතාවක් ලෙස

ree

අන්තර්ජාලයේ බෙහෙවින් ප්‍රසිද්ධ විය​. කතාව එතැනින් ඉවරද​? නෑ! උත්සවය නිමාවන විට බල්ලාද එතැනින් පිටව ගොස් තිබුණද යුවළ ඒ වීදි බල්ලා හදාගැනීමට තීරණය කොට තිබුණි. නමුත් වැස්ස නැවතුනු පසු අතුරුදහන් වූ බල්ලා නැවත සොයා ගැනීම ලේසි වූයේ නැත. එසේ වුවද බොහෝ දෙනාගේ උදව්වෙන් කාලයකට පසු බල්ලා නැවත හමුවිය​.ඔහුට අලුත් නමක්ද ලැබුණි. ස්නූප්!

ree

ඔව්! දැන් ස්නූප් මරිලියා සහ මාතෙස්ගේ ආදරණීය සුරතලාය​. මනුෂ්‍යත්වයේ සැබෑ අරුත කුමක්ද? මනුෂ්‍යත්වය යනු මානව වර්ගයාට මෙන්ම සතා සීපාවාටද ආදරය කිරීමට සහ අනුකම්පා කිරීමට ඇති හැකියාවයි. අප මිනිසුන් බවට පත් කරනුයේ අප සතු ගුණාංගයි. අප ඇති කරන බල්ලා හෝ පූසා හෝ වෙනත් සුරතලුන් කෙරෙහි අපට ඇති වන සෙනෙහස, අපේ දරුවන් කෙරෙහි අපට ඇති වන සෙනෙහස හා සැසඳිය හැකිය. අපි හදවතින්ම ඔවුන් ගැන සැලකිලිමත් වන්නෙමු. නමුත් ඒ ඒ හැඟීම් තේරුම් ගත හැකි නමුත් ඒවා කථා කරන වචනවලට හැරවීමට නොහැකි හා තම අයිතීන් වෙනුවෙන් කතා කිරීමට නොහැකි සෑම සතෙකුම මිනිසාගේ කරුණාවට පාත්‍ර විය යුතුය.තමාගේ සුරතල් සතුන්ට මෙන්ම අනෙක් සතුනටද අපේ කරුණාව පෙන්වීමට අපට හැක. සතුන් යනු මිනිසුන්ට මෙන් හැඟීම් දැනිය හැකි ජීවීන් බව සිතීමට අපට පුලුවන් නම් ලොව මීටත් වඩා ලස්සන වනු ඇත. මරිලියා සහ මාතෙස්, ඔබ වැනිවුන් ලොවටම ආදර්ශයකි. ශ්‍රීපාලි පින්තූර අන්තර්ජාලයෙනි. මෙය සත්‍ය සිදුවීමක් වන අතර ප්‍රවෘත්ති වලද විකාශය විය​. ධාරානිපාත වර්‍ෂාව හා ශාලාව සම්භන්දව ඒ ඒ කතාවේ සුලු සුලු වෙනස් කම් තිබෙන්නට පුලුවන​.සමහර ප්‍රවෘත්ති වල කියවුනේ පල්ලිය කියාය​.

 
 
 

Comments


bottom of page