top of page
Search

ඇණ වෙන්නැතුව රිසර්ච් එකක් ගොඩ දාගන්න අපි දැනගෙන ඉන්න ඕන ටූල්ස් කිහිපයක්

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Nov 29, 2022
  • 5 min read

විශ්වවිද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනය අධ්‍යාපනයේ අවසන් අදියරයට ලං වෙනකොට අපිට අනිවාර්යයෙන් ම මුහුණ දෙන්න වෙන අභියෝගයක් තමයි "අවසන් වසර පර්යේෂණය/ නිබන්ධනය". කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් රිසර්ච් එකයි, තීසිස් එකයි. අපි ගොඩක් අයට මේක FYP විදිහටත් පුරුදුයි.

මේ වැඩේ සම්පූර්ණ කරන්න අපිට සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ මාස අටක් වගේ කාලයක් හිමි වෙනවා. හැබැයි, ඒ කාලය සම්පූර්ණයෙන් ම අපිට මේ වෙනුවෙන් යොදවන්න ලැබෙන්නෙ නෑ. අනෙකුත් දේශන, ඇගයීම් සහ විභාග යනාදියත් එක්ක තමයි මේ දේ අපිට කරන්න සිද්ධ වෙන්නෙ. හැබැයි, එහෙම වුණත්, සාමාන්‍යයෙන් අපේ curriculum ඇතුළේ රිසර්ච් එකට සෑහෙන ලොකු ක්‍රෙඩිට් ගාණක් වැටෙනවා. ඒ කියන්නෙ හරියට කරගත්තොත් ගොඩ තමයි!

නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ, අපි ගොඩක් අයට අන්තිම වසරට එනකම් ම කොහෙමද හරියට රිසර්ච් එකක් කරන්නෙ කියන දේ ගැන අදහසක් නෑ. ගොඩක් අය රිසර්ච් කියන වචනෙ අහන්නෙත් අන්තිම අවුරුද්දට ආවම. Proposal, Literature survey වගේ දේවල් ග්‍රීක් වගේ පේන්න ගන්නෙ ඒ නිසයි. අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීමට මුහුණ දෙනවා. ඒ වගේ ම වැඩිය කියවන්න, ලියන්න අකමැති නං, රිසර්ච් එක තනිකරම nightmare එකක් වෙන විදිහ ගැන අපිට අත්දැකීම් තියනවා.

කලිනුත් කිව්වනේ කරගත්තොත් ගොඩ ම තමයි කියලා. එ් නිසා අද අපි කතා කරන්න යන්නෙ ඇණ වෙන්නැතුව රිසර්ච් එකක් ගොඩ දාගන්න අපි දැනගෙන ඉන්න ඕන ටූල්ස් කිහිපයක් ගැන. ටූල්ස් කිව්වට මේ ⁣ඔක්කොම softwares හෝ apps නෙවෙයි. අනික් කාරණේ, මෙතන තියෙන්නෙ හැමෝටම ප්‍රයෝජනවත් වෙන ටූල්ස් කිහිපයක්. Academia පැත්තට වැඩි නැඹුරුවක් තියනව නං, රිසර්ච් එක තිතට ම කරගන්න ආසයි නං තව ගොඩක් advanced organizing tools ඕන තරම් තියනවා. ඒවා ගැන අපි පස්සෙ දවසක කතා කරමු. අද කියන්න යන්නෙ බොහොම සරල සහ බේසික් දේවල් ටිකක් ගැන.

1. Sci- Hub ඉස්ඉස්සෙල්ලම පටන් ගන්නකොට ම කියන්න යන්නෙ හොර වැඩක් ගැන. හොර වැඩක් කිව්වට මේක නැත්තං ගොඩක් රිසර්ච් කරන ළමයි අනාතයි. විශේෂයෙන් ම ලංකාව වගේ රටවල් වලට sci- hub කියන්නෙ දෙයියෙක් වගේ. රිසර්ච් එකක් කරද්දි මුලින් ම කරන්න සිද්ධ වෙන දේ තමයි literature survey එක. අපි තෝරගන්න පර්යේෂණය, එහෙමත් නැත්නම් අධ්‍යයනය ගැන මීට කලින් සිදු කරලා තියන පර්යේෂණ හරහා අලුත් අධ්‍යයනයේ දිග පළල ගැන අදහසක් ගන්න අපිට ඒ දේවල් ගැන කියවන්න වෙනවා. ලංකාව එක තැන පල් වුණාට ලෝකෙ පර්යේෂණ අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න නිසා අනිවාර්යයෙන් ඔයා තෝරගන්නෙ මොන ⁣අධ්‍යයනය වුණත් ඒ ගැන දාස් ගාණක් පර්යේෂණ පත්‍රිකා මේ වෙනකොට පළ වෙලා ඇති. හැබැයි, ප්‍රශ්නෙ තියෙන්නෙ මේව පළවෙන පර්යේෂණ ජර්නල ගොඩක් ඒව අපි⁣ට බලන්න හැකියාවක් නෑ. මොකද, ඒවට සල්ලි ගෙවන්න වෙනවා. ඩොලර් වලින් ගාස්තු ගෙවන්නයි, ලංකාවෙ ඉඳගෙන රිසර්ච් කරන්න⁣යි දෙකක් බෑ නෙ. pay- pal වත් හරියට නෑ නෙ.

ඒ සෙල්ලම් මොකුත් ඕන වෙන්නෙ නෑ sci-hub තියනකං. Sci- hub කියන්නෙ මේ දක්වා පළ වෙලා තියන රිසර්ච් ආටිකල් වලින් බොහොම සුළු ප්‍රමාණයක් ඇරෙන්න අනෙක් සියල්ල ම අඩංගු වෙබ් අඩවියක්. ඉතිං, ඕන ම දෙයක් හොයාගන්න පුළුවන්.

කරන්න තියෙන්නෙ ගූගල් වල sci-hub කියල සර්ච් කරන එක. එතකොට එන වෙබ් අඩවියට ගිහිං, එතන තියන සර්ච් බාර් එකේ, ඔයාට අවශ්‍ය කරන පර්යේෂණ පත්‍රිකාවට අදාළ doi එක කොපි පේස්ට් කලා ම කිසි ම අවුලක් නැතුව නොමිලේ ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ගූගල් සර්ච් එන්ජින් වලට ලබාදෙන sci- hub extension එක දාගත්තොත් කෙළින් ම google scholar වලට සම්බන්ධ වෙන නිසා key words විදිහට, title විදිහටත් search කරන්න පුළුවන්. (අපේ පර්යේෂණයට හරියටම අදාළ පර්යේෂණ පත්‍රිකා ⁣සර්ච් කරන්නෙ කොහොමද කියලා අපි තව දවසක කතා කරමු.

Sci- hub ඇත්තට ම බැලුවොත් නීති විරෝධීයි. නමුත් මේක අන්තර්ජාලයෙන් ගලවන්න හැකියාවක් නෑ. ගොඩක් වෙලාවට මේ නිසා ම වෙබ් අඩවියේ ඩොමේන් එක මාරු වෙනවා. ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන් ම මොකක් ම හරි ඩොමේන් එකක ඔබට අවශ්‍ය හැම දෙයක් ම තියනවා. (මේක හැදුණු විදිහ ගැනත් රස කතාවක් තියනවා. ඒකත් පස්සෙ දවසකට)

2. Mendeley අනිවාර්යයෙන් ම රිසර්ච් එකක පර්යේෂණාත්මක පැත්ත වගේ ම ලියන කියන පැත්තත් එක වගේ වැදගත්. එතනදි තමයි අපේ පර්යේෂණයට අදාළ මූලාශ්‍ර අපිට අවශ්‍ය වෙන්නේ. අපි ලියන හැම කරුණක් ම සනාථ කරන්න අපිට අවශ්‍ය සාක්ෂි ටික තියෙන්නෙ මේ මූලාශ්‍ර ⁣එහෙම නැත්නම් references වල. ඉතිං මේ reference ටික අපිට අවශ්‍ය විදිහට කළමණාකරණය කරගන්න ගියා ම අපිට ලොකු ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ප්‍රධාන ම දේ අපි citation දානකොට manually වැඩේ කරන්න ගියොත් මේක ගොඩක් අමාරුයි. References පණහක් විතර අතින් cite කරන්න ගියාම හිතල බලන්නකො.

ඔන්න ඔය වගේ වෙලාවට තමයි Mendeley අපේ උදව්වට එන්නේ. Mendeley කියන්නෙ ඔයාට reference ටික ලස්සනට manage කරල දෙන software එකක්. මේක නොමිලේ දෙන මෘදුකාංගයක්. ඒ නිසා කොහොමත් අවුලක් ම නෑ. කරන්න තියෙන්නෙ Mendeley ඔයාලගෙ පරිගණකයෙ install කරගන්න එක විතරයි. ඊට පස්සෙ අපේ references ටික .pdf format එකෙන් මේකට upload කළාම, ඒවට අදෘළ citations වල තියෙන්න ඕන හැම තොරතුරක් ම මෘදුකාංගය මගින් අන්තර්ජාලයෙන් හොයල අපිට ලබා දෙනවා. MS Word වලට Mendeley extension එක දාගත්තට පස්සෙ වැඩේ තවත් ලේසියි. කොටින් ම අපිට කියල කරන්න තියෙන්නෙ ටයිප් කරන එක විතරයි. (හරියට ම Mendeley step by step පාවිච්චි කරන හැටි research bible එකේ තවත් ලිපියකින් කතා කරමු.)

3. MS Word සහ Excel වැඩ කරන්න ගියා ම දාහක් වද වේදනා විඳින්න සිද්ධ වුණා ට පුංචි කාලෙ ඉඳල දන්න දේ නිසා අළුත් දේකට හුරු වෙන්න මහන්සි වෙනවට වඩා ලියන කියන, ප්‍රස්තාර අඳින වැඩ වලට මේ දෙක පාවිච්චි කරන එක හොඳයි. ඇත්තට ම කිව්වොත් අපේ රිසර්ච් එක හරියට ගොනු කරන්න අවශ්‍ය හැම පහසුකමක් ම වගේ word සහ excel වල තියනවා. අමුතුවෙන් කියන්න දේවල් නෑ නෙ. මේ දෙක ම පාවිච්චි කරන්න දන්නවනේ. අනිත් එක තමයි රිපෝට් එකක් හදන්න ගියා ම word සහ excel වලත් නොදන්න අහු මුළු ගොඩක් දැනගන්න පුළුවන්.

4. Cloud Storage අපේ රිසර්ච් එකට අදාළ දත්ත, තොරතුරු, වීඩියෝ, ඡායාරූප වගේ සේරම දේවල් අඩංගු කරලා තියන ෆෝල්ඩර් එක පරිගණකයේ තියාගන්න එක ටිකක් අනතුරුදායකයි. මොකද, අත්දැකීමෙන් කියන්නේ, අන්තිම අවුරුද්දෙ වැඩ කරන්න ගියා ම අනිවාර්යයෙන් ලැප් එකේ ලෙඩක් නිසා ඔය දේවල් ටික ඇහි පිය ගහන සැණින් අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා back up තියාගන්න එක අත්‍යාවශ්‍යයි. පරිගණක එක්ක වැඩ කරද්දි පළවෙනි නීතිය තමයි back up තියාගන්න එක. ඉතිං, one drive, google drive වගේ ඔයාල දන්න කියන cloud එකක මේ දේවල් බැකප් කරල තියා ගන්න එක වටිනවා. මොකද මොනව හරි දෙයක් නැති වුණොත් ඒක නිසා අන්තිමට දුක් වෙන්න වෙන්නෙත් ආයෙ මහන්සි වෙන්න වෙන්නෙත් ඔයාටමයි. කැම්පස් එකේ අන්තිම කාලෙදි ඔළුවෙ තියන බරත් එක්ක මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ඒක කොච්චර වදයක් ද කියල කියන්න ඕන නෑ නෙ. ඒ නිසා බැකප් පාවිච්චි කරන්න. ජී මේල් අකව්න්ට් එකකට නෙමෙිලේ 15GB storage එකක් ලැබෙනවා. මම හිතන විදිහට මේ ප්‍රමාණය වුණත් ප්‍රමාණවත්. එහෙම නැත්නම්, ගොඩක් විශ්වවිද්‍යාල වල academic account එකට microsoft student account එක හරහා 1TB වගේ විශාල ධාරිතාවයක් හිමි වෙනවා. ඊට එහා කතා කරන්න දෙයක් නෑ නෙ!

5. Z library/ Library Genesis පර්යේෂණයට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න ඔබට පොත් කියවන්න වෙනව නං, ⁣ඒව කැම්පස් ලයිබ්‍රරි එකේ හොයා ගන්න නැත්තං, (කොහොම වුණත් ඒපැත්තෙ යන්නෙ කලාතුරකින් නිසා තියනවද නැද්ද කියල දැනගන්න විදිහක් නෑ) හොඳ ම දේ මේ වෙබ් අඩවි දෙක. පොතකට අදාළ නමින් හෝ ISBN අංකයෙන් සර්ච් කරන්න පුළුවන් වගේ ම සහතික වෙන්න පුළුවන් අවශ්‍ය කරන පොත් වලින් එකක් දෙකක් ඇරෙන්න අනික් සියල්ල ම මේ දෙකෙන් එකක තියනව කියලා. සරලයි, පහසුයි.

මේ කිව්වේ, අත්‍යාවශ්‍ය ම ඒ වගේ ම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් tools කිහිපයක් ගැන.

මෙම ලිපිය Isle of Scribe වෙබ් අඩවිය සදහා ලියන ලද්දකි. පූර්ණ අයිතිය ඔවුන් සතු වේ. © Isle of Scribe

(උපුටා ගැනීමකි)



 
 
 

Comments


bottom of page