top of page

උත්සහවන්ත වෙනතරමටම කෙනෙක්ට මේ ලෝකේ ඕනිම දෙයක් කරන්න පුළුවන්

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

අම්මා කෙනෙකුට තමන්ගේ දරු පැටියා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව. ' උණ හපුළු අම්මට තමන්ගේ පැටියා මැණිකක් ' කියලා අපේ පැරැන්නෝ කිවේ කටකහනවට නෙමෙයි නේ. ඒ තරම් වටින දරු සම්පත මේ ලෝකෙට පරිස්සමට ගේන්න අම්මලා මොනතරම් කැපකිරීම් කරනවද? කිසිම ලෙඩක් දුකක්, අතුරු අන්ත්‍රාවක් වෙන්න නොදී පරිස්සම් කරන්නේ තමන්ගේ දරු පැටියා මේ ලෝකේ කවදමහරි ජයගයි කියන බලාපොරොත්තුවෙන්.

පුංචිම හරි අසනීපයක් උනොත් ඒ ගැන හිතලම ඉස්පිරිතාලෙට අරගෙන ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගෙන දෙන්නේ අපේ අම්මා තාත්තා අපිට තියෙන ආදරේටමයි. එහෙම අසනීප උනාම අපිට බෙහෙත් දිලා අපිව හොද කරන්න පුළුවන් මේ ලෝකේ දෙවියන් කියලා අපි කියන අපූරු මිනිස්සූ කොටසකුත් ඉන්නවා කියලා දන්නවා නේ. ඒ අපි කවුරුත් දන්න වෛද්‍යවරුන්. හිතාගන්නවත් බැරි විදිහට අමුතු විදිහේ දේවල් කරන ' විස්මිත දොස්තර ' නැත්තම් Dr. Benjamin Carsom ගේ අපූරු ජිවීත කතාව මෙහෙම කෙටියෙන් කියන්න ඕනි කියලා හිතුවා.

හිසට පිටුපසින් බද්ධවෙලා හිටපු සියම් නිවුන්නු වෙන් කිරිමේ ප්‍රථම සාර්ථක ශල්‍යකර්මය සිද්ධ කලේ Dr. Ben Carsom.හිතා ගන්නවත් බැරි විදිහට ලෝකේ කිසිම වෛද්‍යවරයකු නොකරන මොළයෙන් අඩක් ඉවත් කිරීමේ ශල්‍යකර්මය මොහු ඉතා හොදින් ඉෂ්ට කරනවා.


තෙවැනි ශ්‍රේණියට විතරක් ඉගෙන ගත්ත සොන්යා කාර්සන්ගේ ආදරණිය පුතුන් දෙදෙනාගෙන් බාලමයා තමා බෙන් කියන්නේ. පුංචිම කාලේ තාත්තාගේ ආදරේ අහිමි උනත් අම්මාගේ ආදරය, මගපෙන්වීම, කැපවීම නිසා බෙන් පාසල් අධ්‍යාපනය හොඳින්ම කරගෙන ගියා. ජිවීතයට කොයි තරම් බාධක ආවත් පුංචි බෙන් අම්මගේ වගේම තමන්ගේ අයියගේ ආදරය මැද්දේ සතුටින් ජිවත් වුනා.ඒ කාලේ කළු සුදු භේදය ගැන හරියට ප්‍රශ්න තිබුණා.කළු ජාතිකයන්ට පාසලකට, විශ්වවිද්‍යාලයකට ගිහිල්ලවත් හරියට ඉගෙන ගන්න ලැබුණේ නැහැ. හැමදේම ලැබෙන්න ඕනි සුදු ජාතිකයන්ට විතරයි කියලා තමා එයාලා හිතාගෙන හිටියේ. බෙන් කියන්නෙත් කලු ජාතිකයෙක්.නමුත් බෙන් ඒ හැම දේකටම අභියෝග කලා. තමන් තමා හැම දේකින්ම පළවෙනියා වෙන්නේ කියන සිතුවිල්ල බෙන්ගේ හිතේ වැඩකලා. ඒ හින්දම බෙන් දවස ගානේ අලුත් දේවල් අත්හදා බැලුවා, පොත්පත් කියෙව්වා, ගැඹුරු දේවල් හොයන්න ගත්තා.

බෙන්ගේ ආසාව තිබුණේ කවදම හරි දවසක වෛද්‍යවරයක් වෙන්න. බෙන් ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කලා. සල්ලි නැතිවෙනකොට බෙන් රස්සාවල් හොයන්න ගත්තා.බෙන්ගේ අම්මා සොන්යා කාසන් හැම වෙලේම කිව්වදෙයක් තමා ' කියවන්න පුළුවන් මිනිස්සුන්ට මේ ලෝකේ දොරවල් ඇරලා තියෙන්නේ කියලා '. මිනිස්සු හිතනවාටත් වඩා මේ ලොකේ ගොඩක් දේවල් තියෙනවා කියලා බෙන් පොත්පත් කියවලම දැනගත්තා. ඒ වගේම බෙන් විශ්වාස කරපු දෙයක් තමා දෙවියන් වහන්සේ.උන් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ කියලා බෙන් හිතුවා.බෙන් විශ්වාස කරා තමන්ට මේ හැම දෙයක්ම හොදින් කරගන්න දෙවියන් වහන්සෙගේ ආශිර්වාදය තියෙනවා කියලා.

උසස් අධ්‍යාපනය හදාරන්න බෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනවා. වෛද්‍යවරයක් වෙන්න හීන දකින බෙන්ට ඕනි උනේ හොදම කෙනා වෙන්න. හිතනවට වඩා බෙන් ගොඩක් දේවල් ගැන පර්යේෂණ කලා. ඒ හැමදෙයක්ම ඔහු හිතපු විදිහටම සාර්ථක වුණා. ඒ හැමදේම අතරේ බෙන්ගේ ජිවීතේ අම්මට, අයියට පස්සේ තැනක් තිබුණේ තමන්ගේ ආදරණීය පෙම්වතිය කැන්ඩිට. ඇයව ඔහුට හමුවෙන්නේ හරි අහඹු විදිහට.ආදරේ ගැන අල්ප මාත්‍රාවක්වත් දැනගෙන හිටියේ නැති බෙන් කැන්ඩිට ආදරේ කරන්න පටන් ගත්තා. ඔවුන් හැම අතින්ම සාර්ථක වුණා. අද බෙන් තමන්ගේ ආදරණීය බිරිද කැන්ඩී සහ පුතුන් තිදෙනා සමග සතුටින් ජීවත් වෙනවා. බෙන් කියන්නේ අද වෙනකොට ස්නායු ශල්‍යවේදි මහාචාර්යවරයෙක්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්, පිළිකා හා ළමා ස්නායුරෝග විශේෂවේදීයෙක්. ජෝන්ස් හොප්ස්කින් රෝහලේ ළමා ස්නායු අංශයේ අධ්‍යක්ෂකවරයෙක්. ලෝකය පුරා ඉතා ඉහළ ඇති කෘති තුනක් වූ Gifted Hands, Think Big සහ The Big Picture හි කතුවරයා ද වේ


කලාව, විද්‍යාව, පරිසරය, සාහිත්‍ය කියන හැම ක්ෂේත්‍රයකටම ආදරය කරපු බෙන් අද කා අතරත් ආදරය දිනාගත්ත කෙනෙක්. උත්සහවන්ත වෙනතරමටම කෙනෙක්ට මේ ලෝකේ ඕනිම දෙයක් කරන්න පුළුවන්. ඒකයි බෙන්ගේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය.

චාරුණී දිසානායක

උපුටාගැනීමකී ...

11 views

Comments


bottom of page