top of page

කඳුළු ගෑස් මිනිස් සිරුරට බලපාන්නේ කෙසේද ?

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

පසුගිය දශක කිහිපය තුළ මෙරට ඇතිවූ විරෝධතා මර්ධනය කිරීමට කඳුළු ගෑස් භාවිතා කිරීමට පොලිසිය පියවර ගන්නා ආකාරය දක්නට ලැබුණා. මෙරටට අමතරව එක්සත් ජනපදය, හොංකොං, ග්‍රීසිය, බ්‍රසීලය, වෙනිසියුලාව සහ ඊජිප්තුව වැනි බොහෝ රටවල් වලද එය කැරලි පාලනය කිරීමට සහ ජනකාය විසුරුවා හැරීමට භාවිතා කරනවා.

2013 සිදුකළ පර්යේෂණයකින් හෙළිව ඇත්තේ කඳුළු ගෑස් වලින් සෞඛ්‍ය සංකූලතා ඇති නොවන බවයි. කෙසේ වෙතත්, එහි පිළිගත හැකි භාවිතය පිළිබඳ තවමත් විවාදයක් පවතිනවා.

එහි ආරක්ෂාව වඩා හොඳින් තක්සේරු කිරීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය බව පර්යේෂණ කණ්ඩායම් අදහස් දක්වා තිබෙනවා. ළමුන් සහ ශ්වසන සංකූලතා ඇති පුද්ගලයින් කඳුළු ගෑස් වලට නිරාවරණය වන විට සංකූලතා වර්ධනය වීමේ වැඩි අවදානමක් තිබෙන බවද සඳහන්. මෙම ලිපියෙන්, කඳුළු ගෑස් මිනිස් සෞඛ්‍යයට බලපාන ආකාරය සහ ඔබ එයට නිරාවරණය වුවහොත් ඔබට කළ හැකි දේ ගැන කරුණු ඇතුලත් කර තිබෙනවා.

කඳුළුගෑස් යනු කුමක්ද?

කඳුළු ගෑස් යනු සමේ, ශ්වසන සහ ඇස්වල වේදනාවක් ඇති කරන රසායනික ද්රව්ය එකතුවකි. එය සාමාන්යයෙන් canisters, grenades හෝ pressurized spray ආකාරයෙන් භාවිතා කරනු ලබනවා.

කඳුළු ගෑස් ගෑස් යනු ගෑස් වර්ගයක් නොවේ. එය මීදුම වැනි දුමක් ඇති කරන pressurized powder එකකි. බහුලව භාවිතා වන කඳුළු ගෑස් වර්ගය වන්නේ 2-chlorobenzalmalononitrile (CS වායුව) වේ. එය ප්‍රථම වරට 1928 දී ඇමරිකානු විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සොයා ගන්නා ලද අතර 1959 දී කැරලි පාලනය සඳහා එක්සත් ජනපද හමුදාව විසින් එය භාවිතා කර තිබෙනවා. අනෙකුත් පොදු කඳුළු ගෑස් වර්ග නමින් oleoresin capsicum (pepper spray), dibenzoxazepine (CR gas) සහ chloroacetophenone (CN gas) වේ.

පළමු ලෝක සංග්‍රාමයේදී රසායනික අවියක් ලෙස කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා. කෙසේ වෙතත්, එය දැනට යුදද්ධයක් සඳහා භාවිතා කිරීම නීති විරෝධී වනවා. 1993 දී, ලෝකයේ බොහෝ රටවල් ජිනීවාහිදී රසායනික යුද්ධ වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ගිවිසුමකට අත්සන් තැබීම සිදුකළා. එම ගිවිසුමේ I(5) වගන්තියේ සඳහන් වන්නේ, “Each State Party undertakes not to use riot control agents as a method of warfare” (එක් එක් රාජ්‍ය පාර්ශවය කැරලි මර්දන නියෝජිතයන් යුධ ක්‍රමයක් ලෙස භාවිතා නොකිරීමට භාර ගනී) යනුවෙනි.

උතුරු කොරියාව, දකුණු සුඩානය, ඊජිප්තුව සහ ඊශ්‍රායලය යන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් හතර හැර සෑම රටක්ම පාහේ මෙම ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

කඳුළුගෑස් මිනිස් සිරුරට ඇති කරන බලපෑම් මොනවාද? කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් ශ්වසන පද්ධතිය, ඇස් සහ සමේ වේදනාවක් ඇති වේ. කඳුළු ගෑස්වල ඇති රසායනික ද්‍රව්‍ය වන TRPA1 සහ TRPV1 ලෙස හඳුන්වන වේදනා ප්‍රතිග්‍රාහක දෙකෙන් එකක් සමඟ බැඳීම නිසා මෙම වේදනාව ඇතිවන බව සඳහන්. TRPA1 යනු mustard, wasabi, and horseradish වලට ප්‍රබල රසයන් ලබා දීම සඳහා යොදා ගන්නා වේදනා ප්‍රතිග්‍රාහකයක් වේ. CS සහ CR වායුව මෙම එළවළු වල ඇති තෙල් වලට සාපේක්ෂව 10,000 ගුණයකට වඩා බලවත් වන බවද සඳහන්. කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පසු ඔබ අත්විඳින රෝග ලක්ෂණ වල බරපතලකම පහත කරුණු මත රඳා පවතී. එනම්… 1) ඔබ සිටින්නේ සංවෘත අවකාශයක හෝ විවෘත අවකාශයකද? 2) කොපමණ කඳුළු ගෑස් පාවිච්චි කරනවාද? 3) කඳුළු ගෑස් මුදා හරින විට ඔබ එයට කෙතරම් සමීපද? 4) ඔබට බලපෑම් එල්ල විය හැකි පෙර සිටම ශරීරයේ පැවති තත්ත්වයන්? බොහෝ අය කිසිදු සැලකිය යුතු රෝග ලක්ෂණ නොමැතිව කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පසු සුවය ලබයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි වසර 10 ක අධ්‍යයනයකින් pepper spray අවස්ථා 4,544 ක් පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පසු දරුණු රෝග ලක්ෂණ වර්ධනය වන්නේ 15 න් 1 ක් අවස්ථාවක පමණක් බව එම පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා. කඳුළු ගෑස් වලට නිරාවරණය වූ වහාම, ඇතිවන අක්ෂි රෝග ලක්ෂණ • ඇස් දෙකෙන් කඳුළු ගැලීම. • ඇස් දෙක දිගු වෙලාවක් යනතුරු වැසීම. • කැසීම. • දැවිල්ලක් හට ගැනීම. • තාවකාලික අන්ධභාවය. • දර්ශන නොපැහැදිලි වීම. • රසායනික පිළිස්සුම් ඇතිව දිගු කාලීනව නිරාවරණය හෝ සමීප පරාසයක නිරාවරණය වීමෙන් ඇතිවන අක්ෂි රෝග ලක්ෂණ • අන්ධභාවය. • ලේ ගැලීම්. • ස්නායු හානි. • ඇසේ සුද ඇතිවීම. • corneal ඛාදනය. කඳුළු ගෑස් ආශ්වාස කිරීමෙන් ඔබේ නාසය, උගුර සහ පෙණහලුවල වේදනාවක් ඇති කරයි. කලින් පැවති ශ්වසන තත්වයන් ඇති පුද්ගලයින්ට ශ්වසන අපහසුතාව වැනි දරුණු රෝග ලක්ෂණ වර්ධනය වීමේ වැඩි අවදානමක් තිබෙන බවද සඳහන්.

ශ්වසන සහ ආමාශ ආන්ත්රයික රෝග ලක්ෂණ

• හුස්ම හිරවීම. • නාසයේ සහ උගුරේ පිළිස්සෙන ගතිය සහ කැසීම. • හුස්ම ගැනීමේ අපහසුතාව. • කැස්ස. • කෙළ ගැසීම. • පපුවේ තද ගතිය. • ඔක්කාරය. • වමනය. • පාචනය. • පෙනහළුවල අපහසුතා ඇතිවීම. සැලකිය යුතු :කඳුළු ගෑස් සාන්ද්‍රණයට නිරාවරණය වීම හෝ සංවෘත අවකාශයන් තුළ හෝ දිගු කාලයක් නිරාවරණය වීම මරණයට හේතු විය හැක. කඳුලු ගෑස් වලට නිරාවරණය වීමෙන් ඇති වන සමයේ රෝග ලක්ෂණ නිරාවරණය වූ සම සමඟ කඳුළු ගෑස් ස්පර්ශ වන විට එය සමේ වේදනාවක් ඇතිකිරීමට සමත් වේ. සමහර අවස්ථාවල දී මෙම වේදනාව දින ගණනාවක් පැවතිය හැකිය.

මීට අමතරව ඇති අනෙකුත් සමේ රෝග ලක්ෂණ වන්නේ • කැසීම. • සම රතු පැහැය ගැනීම • බිබිලි ඇතිවීම. • Dermatitis අසාත්මිකතා. • රසායනික පිළිස්සුම් ඇතිවීම.

අනෙකුත් රෝග ලක්ෂණ :

වෛද්‍යවරුන් පවසන පරිදි, දිගු කාලීන හෝ නැවත නැවත කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පශ්චාත් කම්පන ආතති ආබාධ හෙවත් PTSD රෝග ලක්ෂණ ඇති විය හැකිය. එමෙන්ම කඳුළු ගෑස් නිරාවරණය හෘද ස්පන්දන වේගය හෝ රුධිර පීඩනය වැඩි කිරීමට හේතු විය හැක. පූර්ව හෘද රෝග ඇති පුද්ගලයින් තුළ, මෙය හෘදයාබාධ ඇතිවීම හෝ මරණය සිදුවීමට හේතු විය හැක. කඳුළු ගෑස් canister වැදීමෙන් කම්පන සහගත තුවාල ඇතිවිය හැකිය. සමහර පර්යේෂණවලින් පෙනී යන්නේ CS වායුවට නිරාවරණය වීම ගබ්සා වීමේ අවදානම වැඩි කිරීමට හෝ කලලරූපී අසාමාන්යතා ඇති කිරීමට හේතු විය හැකි බවයි. කෙසේ වෙතත්, CS වායුව මිනිසුන්ගේ කලල වර්ධනයට බලපාන ආකාරය දැන ගැනීමට මේ වන විට ප්රමාණවත් තරම් පර්යේෂණ සිදුකර නොමැති බවත් සඳහන්.

මෙම බලපෑම්වලට ප්‍රතිකාර කිරීමට හොඳම ක්‍රමය කුමක්ද ?

කඳුළු ගෑස් සඳහා ප්රතිවිරෝධකයක් ලෙස භාවිතා කළ හැකි ඖෂධයක් නොමැත. එබැවින් ප්‍රතිකාර කළ හැක්කේ පුද්ගලයාගේ රෝග ලක්ෂණ මත පදනම්ව වේ.

රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පසුව කඳුළු ගෑස් ප්‍රභවයෙන් වහාම ඉවත් වී නැවුම් වාතය ලබා ගත යුතුය. කඳුළු ගෑස් වල වාෂ්ප පොළව මත තැන්පත් වන බැවින් හැකි නම් උස් බිමක් වෙත යාම සිදුකළ යුතු වේ. එමෙන්ම සමේ තැන්පත් වී ඇති වාෂ්ප ඉවත් කිරීම සඳහා ඇඳුම් ඉවත් කර සබන් හා වතුරෙන් ස්නානය කිරීම ද සිදුකළ යුතුය. මීට අමතරව කඳුළු ගෑස් සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු ඇස් වතුරෙන් සෝදා පිරිසිදු කළ යුතුය.

මෙම බලපෑම් ඇතිවීම වළක්වා ගැනීමට ඔබ කළ යුතු දේ කඳුළු ගෑස් වල සංකූලතා ඔබ කඳුළු ගෑස් වෙත නිරාවරණය වන කාලයට සාපේක්ෂව වඩාත් නරක අතට හැරිය හැකය. ඒ අනුව හැකි ඉක්මනින් ඉවතට යාමෙන් ඔබ වායුව සමඟ සම්බන්ධ වී සිටින කාලය අවම කර ගැනීමෙන් වඩාත් දරුණු අතුරු ආබාධ ඇතිවීමේ අවදානම අවම කර ගත හැකිය. ඇස්, මුඛය, නාසය සහ සම හැකිතාක් ආවරණය කිරීමෙන් කඳුළු ගෑස් වෙත නිරාවරණය අවම කර ගත හැකිය. එමෙන්ම නාසයට සහ මුඛයට උඩින් ස්කාෆ් හෝ බඳ පටියක් පැළඳීමෙන් වායුව ඔබේ ශ්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වා ගත හැකිය. මීට අමතරව ඇස් කණ්ණාඩි පැළඳීම ඔබේ ඇස් ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.

වෛද්‍යවරයෙකු හමුවිය යුතුද ? කඳුළු ගෑස් වලට නිරාවරණය වන බොහෝ පුද්ගලයින්ට දිගු කාලීන බලපෑමක් ඇති නොකරයි. නමුත් සමහර අවස්ථාවලදී කඳුළු ගෑස් වලට නිරාවරණය වීම බරපතල සංකූලතා හෝ මරණයට හේතු විය හැක. ඔබ කඳුළු ගෑස් වලට නිරාවරණය වී ඇත්නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

සාරාංශය කැරලි සහ ජනකාය පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් කඳුළු ගෑස් බහුලව භාවිතා කරයි. එය සාමාන්‍යයෙන් කැරලි කළමනාකරණය සඳහා අඩු අවදානම් ක්‍රමයක් ලෙස සලකනු ලැබේ. නමුත් එය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තවමත් විවාදයක් පවතී. බොහෝ අය කඳුළු ගෑස් වලින් සංකූලතා නොමැතිව සුවය ලබයි. කෙසේ වෙතත්, විශාල මාත්‍රාවලට නිරාවරණය වන හෝ පෙර සිටම පවතින රෝගී තත්වයන් ඇති පුද්ගලයින්ට ශ්වසන අපහසුතා, අන්ධභාවය සහ මරණය වැනි දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. ඔබ කඳුළු ගෑස් වලට නිරාවරණය වී ඇත්නම්, නිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වහාම වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

උ.ගැ.... Vimarshana Samarakoon | Colombo TiTimesⒸ කරුණාකර කතෘ අයිතිය සුරකින්න

4 views

Comments


bottom of page