top of page

යුක්‍රේනය සතුව තිබූ දහස් ගණනක් න්‍යෂ්ටික අවිවලට මොකද උණේ?

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

ශීතල යුද්දය, එහෙමත් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නිදහස් වෙළඳපළ ධනවාදය ගුරු කරගත් පාර්ශවය සහ සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ සමාජවාදී කඳවුර අතර පැවති, නිරවි, භූ දේශපාලනික සහ සාමාජීය න්‍යාය ඝට්ටනය එහි උච්ඡතම අවස්ථාවට ආවේ 1970 දශකයෙදි..

අන්න ඒ දශකය වෙනකොට සෝවියට් සමූහාණ්ඩුව විවිධ ප්‍රමාණයේ න්‍යෂ්ඨික සඵලතාවන් සහිත ( පිපුරුමකදී මුදාහරින ශක්තිය සමාන කළ හැක්කේ ටී.එන්.ටී කිලෝ ටොන් හෝ මෙගා ටොන් කීයක පිපුරුම් ශක්තියටද යන්න ) න්‍යෂ්ඨික යුද ශීර්ෂ 44,000 කට ආසන්න ප්‍රමාණයක් නිපදවාගෙන තිබුණා....ඔයින් 26,000 ක් සක්‍රීය සේවයේ යොදවන්න ඕනෑම මොහොතක සූදානම් කර තිබුණා....ලෝක ඉතිහාසයේ කිසියම් රාජ්‍යයක් නිපදවන ලද විශාලතම න්‍යෂ්ඨික අවි තොගය තමා ඒ....ඇමරිකාව පවා උපරිම වශයෙන් නිපදවා තබාගත්ත අවි තොගය ශීර්ෂ 22,000 ක් පමණයි.

1991 වසරේ දෙසැම්බර් 25 වෙනිදා, නත්තල් දවසේ හවස, සෝවියට් සමූහාණ්ඩුවේ අවසාන සභාපතිවරයා වූ මිහයීල් ගොර්බචෙෆ් විනාඩි 10 ක කථාවක් පවත්වලා, සිය පදවියෙන් ඉල්ලා අස් වුනා....ඒ තමයි සෝවියට් සංගමය නිළ වශයෙන් විසුරුවා හැරීම සම්පූර්ණ කළ මොහොත. ඒ වෙද්දි සෝවියට් ඒකක තුනක්, ඒ කියන්නෙ ලිතුවේනියාව, එස්තෝනියාව සහ ලාත්වියාව නිදහස ලබලා ඉවරයි....සෝවියට් ඒකක 15 න්, රුසියාව සමඟ ඉතිරි 12 ම ඔටෝමැටිකලිම නිදහස ලැබුවේ අන්න ඒ මොහොතෙදි .... ක්‍රෙම්ලින් මන්දිරයේ මුදුනතේ තිබුණු දෑ කැත්ත සහ මිටිය සහිත රතු වර්ණ කොමියුනිස්ට් ධජය ක්‍රමයෙන් බිමට බාලා, ඒ වෙනුවට ත්‍රිවර්ණ රුසියානු ජාතික ධජය ඒ කොඩි ගසේ එසවුනේ එදින ඒ මොහොතෙදි.....

අන්න ඒ මොහොත වෙද්දි සෝවියට් සමූහාණ්ඩුව සතුව න්‍යෂ්ඨික යුද ශීර්ෂ 23,000 ක් ඉතිරි වෙලා තිබුණා....ඒ ගාණට ඒක අඩුවෙන්න හේතුව තමයි, 1969 - 1972 කාලය තුළ කරන ලද "සෝල්ට් 1 " ( Strategic Arms Limitation Talks) සාකච්ඡා වලට අනුව 1972 වසරේ ඇමරිකන් ජනාධිපති රිචඩ් නික්සන් සහ සෝවියට් නායක ලෙනොයිඩ් බ්‍රෙෂ්නෙව් අතර පැවති හමුව හෙවත් "මොස්කව් සමුළුවෙදි" අත්සන් තබන ලද Anti-Ballistic Missile Treaty ගිවිසුම. මේ ගිවිසුමට මුලදී සෝවියට් සමූහාණ්ඩුව එතරම් ගරු නොකළත්, 1985 වසරේ සිට මිහයීල් ගොර්බචෙෆ් ගරු කරන්න පටන් ගැනීම හේතුවෙන් න්‍යෂ්ඨික අවි 15,000 ක් පමණ ( බහුතරය "බැට්ල්ෆීල්ඩ් නියුක්ලියර් වෝහෙඩ්ස් හෙවත් කුඩා සඵලත්වයක් සහිත සංග්‍රාම භූමි සඳහා යොදාගන්න හදපු න්‍යෂ්ඨික අවි ) නිෂ්ක්‍රීය කරලා ඉවත දැමීම.

ඔය යුද ශීර්ෂ 23,000 න් 7,000 - 14,000 ක් අතර ප්‍රමාණයක් ගබඩා කර තිබුණු බව කියන්නෙ යුක්‍රේන භූමියේ....ඒකට හේතුව තමයි සෝවියට් පාලනය බලාපොරොත්තු උනේ කවදා හෝ සෝවියට් සංගමයට යුද්දයකට යන්න වෙනවා නම්, ඒ වෙන්නෙ වෙස්ටර්න් තියටර් එකේ කියලා....එතකොට ඉක්මණට ඒ ප්‍රහාර සඳහා යොදාගන්න පුළුවන් තැන්වල ඒවා ගබඩා කර තිබ්බා...අනෙක් කරුණ තමයි ඒ යුද ශීර්ෂ වලින් සමහරක් යුක්‍රේනයෙන්ම සපයා ගත් ප්ලූටෝනියම් සහ යුරේනියම් යොදාගෙන යුක්‍රේනයේම නිපදවා තිබීම. ( ඒ තිබිච්ච යුද ශීර්ෂ ගණන ගැන විවිධ වාර්ථා විවිධ දේ කියනවා...සමහර වාර්ථා ඒ ගණන 3,200 - 7,000 ත් අතරෙ කියනවා )

තව යුද ශීර්ෂ 1,200 ක් තිබුණේ කසකස්ථාන සෝවියට් ඒකකයට අයත් භූමියේ ගබඩා කරලා තව යුද ශීර්ෂ 100 ක් තිබුණේ ඔය දැන් මේ යුද්දයේදී රුසියාවට සහාය දුන් "බෙලරූස්" කියන රාජ්‍යයේ එවකට තිබුණු බෙලාරූස් සෝවියට් ඒකකයට අයත් භූමියේ

ඉතින් මධ්‍යම රාත්‍රියේ ඔය රටවල් තුනම ස්වාධීන රටවල් උනා විතරයි,

යුක්‍රේනය න්‍යෂ්ඨික යුද ශීර්ෂ දහස් ගණනක් සහිතව, දින කිහිපයකට හෝ රුසියාවට සහ ඇමරිකාවට පමණක් දෙවනි ලෝක බලවතෙක් බවට පත්වුනා. ( චීනය වගේ රටවලට අදටත් තියෙන්නෙ යුද ශීර්ෂ 1,200 ක් වගේ )

දැන් මේ න්‍යෂ්ඨික යුද ශීර්ෂ තිබුණට මදි....ඒවා ඉලක්ක වෙත යවන්න ඩිලිවරි සිස්ටම්ස් තියෙන්නත් ඕන නේ.... ඉතින් ඒකට සෝවියට් ගුවන් හමුදාව විසුරුවා හරිද්දි, යුක්‍රේනයේ බේසස් වල තිබුණු තුපොලෙව්- 160 කියන දිගු දුර බෝම්බ හාරක ගුවන් යානා 25 ක් වගේ සහ සෝවියට් සමූහාණ්ඩුව සතු දිගු දුර බැලිස්ටික් මිසයිල වන තුපොල් - 25 බැලිස්ටික් මිසයිල 30 ක් වගේත් යුක්‍රේනයට හිමිවුනා...

දැන් න්‍යෂ්ටික යුද ශීර්ෂ කියන ඒවා තියාගන්න එක ලෙහෙසි නෑ... ඒවා ගබඩා කිරීමේ සිට නඩත්තුව සහ ඒවායින් හදිසි අනතුරු සිදු නොවෙන බවට තහවුරු කර රැක බලාගන්න එකට සෑහෙන්න තාක්ෂණය සහ මුදල් ඕන වෙනවා....

ඉතින් මේ රටවල් තුනෙන් බෙලාරූස් රාජ්‍යය දින හයක් වගේ යන්න කළින් තමන් සතු යුද ශීර්ෂ 100 ක ප්‍රමාණය රුසියානුවන්ට අරගෙන යන්න දුන්නා...( අදටත් බෙලරූස් ගොඩක් දුරට රුසියන් කීකරු රාජ්‍යයක් ...ඒකට හේතුව තමයි බෙලරූස් වැසියන්ගේ ස්ලැවික සම්භවය යුරෝ ස්ලැවික සම්භවයකට වඩා රුසියන් ස්ලැවික සම්භවයක් වීම )

කසකස්ථානය තම භූමියේ තිබුණු යුද ශීර්ෂ වලින් විශාල කොටසක් රුසියානු සහ ජාත්‍යන්තර ( ඇමරිකන්, බෙල්ජියන් ආදී ) අවි නිරීක්ෂකයන් ඉදිරියේ නිෂ්ක්‍රීය කරන්න කටයුතු කරලා, ඉතිරි කොටස රුසියාවට ගෙනියන්න දුන්නා...

මෙවැනි අවි තබාගන්න සහ නඩත්තු කරන්න අවශ්‍ය වරලත් තාක්ෂණය ( සර්ටිෆයිඩ් ටෙක්නොලොජි ) තිබුනේ රුසියාව සතුව විතරයි... යුක්‍රේනයේ මේවා නිපදෙව්වට, ඒ නිපදවන්න වැඩි වශයෙන්ම දායක වුනේ රුසියානු සෝවියට් ඒකකයේ සිට ආ ඉන්ජිනේරුවන් සහ විද්‍යාඥයන් ... නිදසුන් - ආන්ද්‍රෙ සැකරොෆ්, ලෙවී ඇන්ද්‍රපෝෆ්

ඉතින් යුක්‍රේනය සතුව මේ සා සුවිශාල යුද ශීර්ෂ ගණනක් සමඟම ඩිලිවරි මෙතඩ්ස් තියෙන එක ගැන ලෝක ප්‍රජාව, විශේෂයෙන්ම බටහිර රටවල් කනස්සළු උනා...

ඔවුන් කනස්සළු උන ප්‍රධාන හේතු තුන තමයි

1. යුක්‍රේනයේ කවදා හෝ "රෝග් රෙජීම්" හෙවත් අණක් ගුණක් නැති රෙජීමයක් ඇවිත් යුරෝපය සහ සෙසු ලෝකය මේ යුද ශීර්ෂ පෙන්වා ප්‍රාණ ඇපයට ගනියිද, ආගමික අන්තවාදියෙක් උන්මත්තකයෙක් ඇවිත් ප්‍රහාර එල්ල කරන්න පටන් ගනියිද කියන එක

2. යුක්‍රේනයට මේ අවි වලට ප්‍රමාණවත් ආරක්ෂාව සපයන්න බැරි නිසා මෙවැනි යුද ශීර්ෂ එකක් හෝ කිහිපයක් ත්‍රස්තවාදී කල්ලි විසින් පැහැර ගැනීම හෝ දූෂිත හමුදා නිලධාරීන් විසින් ඔවුන්ට විකුණා දැමීම සිදුවෙයිද කියන එක

3. යුක්‍රේනය ඇතුලේ සිදුවන යම් හදිසි අනතුරකින් මේවා පුපුරා ගොස් මුළු නැගෙනහිර යුරෝපයටම සහ ඉන් මතු මුළු ලෝකයටම එහි ෆෝල් අවුට් එකේ බලපෑම් එයිද කියන එක

ඉතින් ඔවුන් යුක්‍රේනයට යෝජනාවක් ගෙනවා;

මේ අවි නිෂ්ක්‍රීය කර දමන්න සහ, මෙයින් කොටසක් රුසියාවට බාර දෙන්න සහ, මේ අවි ගැන ජාත්‍යන්තර පරමාණුක බළශක්ති අධිකාරියෙන් එන කණ්ඩායම් වලට වාර්ථාවක් ගන්න,

අවසර දෙනවා නම්, යුක්‍රේනයේ දේශ සීමා ආරක්ෂාව සහ අන් රටක් යුක්‍රේනයට එරෙහිව අවි එසෙව්වොත් ඔවුන්ගේ උදව්වට එන බවට සහතික වෙනවා කියලා...

මේ පිළිබඳව යුක්‍රේනය ඇතුලෙ සෑහෙන විවාදයක් ගියා...අති බහුතරයක් කිව්වෙ "ඔන්න ඕවා විනාශ කරන්න උදවු කරමු" කියලා....ඒත් සුළු කොටසක් හිටියා මෙන්න මේ වගේ කථාවක් කියපු...

"ඔව් නිෂ්ක්‍රීය කරන්න උදව් කරමු....රුසියාවටත් දෙමු....ඒත් අපි අඩුම ගානේ යුද ශීර්ෂ 100 ක් වත් තියාගමු අපේ ආරක්ෂාවට...අපේ ඉතිහාසය පුරාවටම අපි නිදහසේ ජීවත් වෙන්න හදන හැම වෙලාවෙම ජාත්‍යන්තර බල අරගල වලට මැදිවෙලා, කඳුළු කථාවකින් තමයි කෙළවර උනේ......දහස් ගණනක් තියෙන එකේ, සහ න්‍යෂ්ඨික අවි අපේ භූමියේ හදන්නත් පුළුවන් වෙච්ච එකේ, මෙයින් 100 ක් වත් අපි තියාගත්තොත්, අනාගතයෙදි අපිට කාටවත් අත පොවන්න, නටවන්න, ආක්‍රමණය කරන්න බැරි වෙයි " කියලා

නමුත් ඒ අයට වැඩි පිරිසක් එකතු උනේ නෑ...

අවසානයේදී 1994 වසරේ හන්ගේරියාවේ "බුඩාපෙස්ට් " නගරයෙදි පාර්ශව තුනක් එකතුවෙලා මේ සම්බන්ධ ගිවිසුමකට එළඹෙනවා යුක්‍රේනය සමඟ ....යුක්‍රේනය ඩීල් එකට එකඟ වෙනවා නම් යුක්‍රේනය උවදුරු වලින් රකිනවා කියලා ඔවුන් ප්‍රතිඥා දෙනවා...

මොනවද දන්නවද පාර්ශව තුන

1. ඇමරිකා එක්සත් ජනපදය 2. මහා බ්‍රිතාන්‍යය

තුන්වෙනි පාර්ශවය අන් කවුරුත් නෙමෙයි.... ඉතාම දෛවෝපගත ලෙස අද යුක්‍රේනයේ උවදුර වෙලා ඉන්න රුසියාව හෙවත් රුසියානු ෆෙඩරේෂනය ....

දැන් මේ ආක්‍රමණය වෙලාවේ ගොඩක් ජාත්‍යන්තර නීති විශාරදයන් මේ 1994 අවබෝධතා ගිවිසුම අවුස්සලා අරගෙන ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට ඔවුන් එකඟ වෙච්ච වගකීම් මතක් කරලා දුන්නා.....ඒත් "දැන් ඕවා පරණයි, එක්ස්පයර්ඩ්, අපි දන්නෙත් නෑ, අපිට ඇහුණෙත් නෑ" මෝඩ් එකේ ඔවුන් හිටියා... ( ඒ ගිවිසුමේ එක්ස්පයරි ඩේට් එකක් නැහැ )

ඉතින් අද මේ වෙලාවෙ අර දහස් ගාණක් තිබ්බ යුද ශීර්ෂ වලින් එක සීයක් තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් තියාගෙන හිටියා නම් .... ඒවයින් ගහන්න නෙමෙයි ....න්‍යෂ්ටික අවි තියාගන්නෙ ඒවයින් ගහන්න නෙමෙයි ...Nuclear deterrence හෙවත් ඒවා පෙන්වා තමන්ගේ කේවල් කිරීමේ බලය වැඩි කරගෙන තමන්ව ආක්‍රමණය කරන එක වළක්වගන්න කදිම අවියක් විදියට.... එහෙම නම් මේ ආක්‍රමණය සිදු නොවෙන්න සෑහෙන්න ඉඩක් තියෙනවා ....

( ඔයාලට දැන් මගේ යුක්‍රේන පෝස්ට් දැකලා එපාවෙලා නම් සමාව ඉල්ලනවා....උගන්නන්න ආසාවට ලියන්නෙ....).

-දමිත් කේතක-

2 views

Kommentarer


bottom of page