top of page
Search

සොරකම් කර කැබලි කළ අයින්ස්ටයින්ගේ මොළය

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Feb 4, 2022
  • 2 min read

විද්‍යා ප්‍රබන්ධ නවකතාවක සිදුවීමක් හෝ චිත්‍රපටයක සිදුවිය හැකි සිදුවීමක් ලෙස පෙනෙන්නට තිබුණද, ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය සැබැවින්ම සොරකමට ලක් වූ බව ඔබ විශ්වාස කරනවාද? එය සිදු වූයේ ඔහුගේ මරණයෙන් ස්වල්ප කලකට පසුවය. බුද්ධියේ මූලාරම්භය සෙවීමේ අරමුණින්, ඇතැම් බුද්ධිමතුන්ගේ මොළය, මරණින් පසු සංරක්ෂණය කර තැබීම 19වන සියවසයේ විද්‍යාඥයන්ගේ පිළිවෙතක් විය. මරණයෙන් පසු තමාටද මෙම ඉරණම අත්වන බව නිසැකවම දැන සිටි අයින්ස්ටයින්, තමා මිය ගිය පසු තමාගේ මොළයට එසේ නොකරන ලෙස ඉල්ලීමක් කරන ලදී. වර්ෂ 1955, අප්‍රේල් 18 වැනි දින හිමිදිරි උදෑසන අයින්ස්ටයින් මිය ගියේය. කෙසේ වුවද ඔහුව පරීක්ෂා කිරීම භාරව සිටි තෝමස් හාවි නම් වෛද්‍යවරයා හොර රහසේම අයින්ස්ටයින්ගේ මොළය ඉවත් කරේ, අනාගත පර්යේෂණ සඳහා යොදා ගැනීමේ අටියෙනි. වෛද්‍ය හාවි, අයින්ස්ටයින්ගේ මොළය සිය නිවස වෙත රැගෙන ගොස් කොටස් 240කට වෙන්කර, සංරක්ෂණය පිණිස සෙලොයිඩින් (Celloidin) ද්‍රාවණයක බහා තබන ලදී. අයින්ස්ටයින්ගේ ආදාහනයෙන් ටික කලකට පසුව, අයින්ස්ටයින්ගේ පුත්‍රයා වූ හාන්ස් ඇල්බට් අයින්ස්ටයින් (Hans Albert Einstein) සොරකම පිළිබඳ දැනගත් අතර දැඩි කෝපයකට පත් විය. නමුත් සොරකම් කළ මොළය තබා ගැනීමට ඉඩ දෙන ලෙස වෛද්‍ය හාවි අයින්ස්ටයින්ගේ පුත්‍රයාගෙන් ඉල්ලීම් කරන ලදී. කෙසේ වුවද, අවසරයකින් තොරව, ලොව සුප්‍රසිද්ධම භෞතික විද්‍යාඥයාගේ මොළය සොරකම් කළ වරදට වෛද්‍ය හාවිට විවිධ දඬුවම් හිමි විය. ඔහුට සිය රැකියාව සහ විවාහය යන දෙකම අහිමි විය. ඔහු රහසිගතව මැදපෙරදිගට සංක්‍රමණය වූ අතර, අයින්ස්ටයින්ගේ මොළය දශක කිහිපයක්ම ඔහු ලඟ සඟවා තබා ගන්නා ලදී. ඒ අයින්ස්ටයින්ගේ මොළයෙන් බුද්ධිය පිළිබඳව රහස් සොයා ගැනීමේ අටියෙනි. මහා විද්‍යාඥයාගේ මොළයට අත් වූ ඉරණම කිසිවෙකුත් නොදැන සිටි අතර වර්ෂ 1978 දී ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු විසින් අමෙරිකාවේ කැන්සාස් ප්‍රදේශයේ සැඟවී සිටියදී වෛද්‍ය හාවි සොයාගන්නා ලදී. අද අයින්ස්ටයින්ගේ මොළය පවතින්නේ අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රදේශයේ ප්‍රින්ස්ටන් වෛද්‍ය මධ්‍යස්ථානයේ ය (Princeton Medical Center). එය පර්යේෂකයෙකුට පවා නිරීක්ෂණය කළ නොහැකි ලෙස ආරක්ෂා කර තිබේ. එසේ වුවද හාස්‍යයට කරුණනම්, අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් තවමත් අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල සොයා ගැනීමට හැකි වීමයි. ඒ අයින්ස්ටයින්ගේ මොළය පිළිබඳව කුතුහලයෙන් පසු වූ සිය මිතුරන්ට, මොළයේ කෑලි ලබා දීමේ වෛද්‍ය හාවිගේ පුරුද්දට ස්තූති වන්නටය.

© Harshana Miyuranga Upulwehera - හර්ෂණ මියුරංග උපුල්වෙහෙර | 10.01.2022

Copied



 
 
 

Comments


bottom of page